Monday, August 3, 2020

Covid 19, අධ්‍යාපනය සහ ආකල්ප

කොරෝනා වසංගතය වෙනුවෙන් පාසල් නිවාඩු දුන්නේ පසුගිය මාර්තු මස 12 වන දිනය. දිගු නිවාඩුවකින් පසුව සිසුන් සඳහා පාසැල් විවෘත වූයේ පසුගිය ජුනි මස විසිනව වන දිනය. එසේ පාසල් ආරම්භ වීමට මත්තෙන් සිසු දරුවන්ගේ ආරක්ෂාව උදෙසා පාසල් සූදානම් කිරීම සඳහා අධ්‍යාපන අමත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කළ අතර, ලොකු කුඩා සෑම පාසලක්ම තම උපරීම පරිශ්‍රමය යොදා දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කරන ලදී.

පාසල් සඳහා අධ්‍යාපන අමත්‍යාංශය මඟින් මුදල් වෙන් කල බව සැබෑවක් වුවත්, එම මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ බව පාසල් පරිපාලනයේ යෙදෙන අපි දනිමු. කෙසේ වුවත් ලංකාවේ සියලුම පාසල් සපිරි පාසල් නොවන බව  කවුරුත් දන්නා ප්‍රකට රහසකි. අප රටේ බහුතරයක් පාසල් අපහසුවෙන් අත්‍යාවශ්‍ය වියදම් පමණක් පිරිමහා ගන්නා ඒවාය.

එවැනි තත්ත්වයක් යටතේ පාසල් පරිපාලනය සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ව කෙසේ හෝ වෙනත් අත්‍යාවශ්‍ය වියදම් කපා හරිමින් දරුවන් වෙනුවෙන් අත් සේදීම සඳහා පයින් පාගන සේදුම් බේසම්, විශබීජහරණයට ඇවැසි ද්‍රව්‍ය සූදානම් කරන ලදී. කුඩා පාසල් වලට ගිලන්කාමර යනු සිහිනහකි. නමුදු පාසල් පරිපාලනය ඇඳ, තිරරෙදි ආදී සියලු පහසුකම් අවම මට්ටමින් සපුරා ගත්තේ දැයේ දරුවන් වෙනුවෙනි.

එහෙත් අවසනාව එය නොවෙි. මෙවැනි ගෝලීය වසංගතයක් හමුවේ පාසල් ආරම්භ කිරිමට ප්‍රථම විවිධ මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සිදු කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව සාමාන්‍ය මහජනාතාව නන් අයුරින් දැනුවත් කරන ලදී. ඒ තරමට එහි රෝග ලක්ෂණ, පවත්වා ගත යුතු සෞඛ්‍ය නීතිරීති අපට කඩපාඩම්ය. කිසිවිටෙක දෑත් නොසෝදා හෝ පෞද්ගලික විශබීජනාශක දියරක් භාවිතා නොකොට සිටීම මා ඇතුළු මගේ පවුලේ සාමාජිකයන්ගේ දෛනික පුරුද්දක් වී ඇත. අප අප වෙනුවෙන් හා අන් අය වෙනුවෙන්
* නිතර දෑත් සෝදන්නේ ය.
* සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නේ ය.
* මුඛ ආවරණ පළඳින්නේ ය.

නමුත් ආදරණීය දෙමාපියනි,

ඔබේ නිවසේ සිට පාසලට පැමිණි දරුවන්ගෙන් බහුතරයකට

* නිරතුරුව දෑත් සෝදන්නට
* මීටරයේ පරතරය තබා ගෙන සිටින්නට
* මුඛ ආවරණ පළඳින්නට

ඇඟිල්ලෙන් ඇන උපදෙස් දෙන්නට සිදු විය.

එය එසේ සිදු වූයේ ඇයි? ඊට එකම හේතුව තරගකාරි අධ්‍යාපන රාමුවක එල්ලී ඔබ, ඔබේ දරුවන්ගේ දැනුම තැනුවා මිස කිසිවිටෙකත් ඔවුන්ගේ #ආකල්ප හා #කුසලතා සංවර්ධනයට නොවෙහෙසුන ඇත්තෝ වූ නිසාවෙනි.  

ආදරණීය දෙමාපියනි, වැඩිහිටියනි, හිස පමණක් පෝෂණය කොට හදවත කුසගින්නේ තැබූ පරම්පරා කීපයක් මේ වන විටත් අප තනා ඇත.

නමුත් අප කඩිනමින් ඊට නැවතීමේ තිත තැබිය යුතුය. ඔබේ දරුවා ලොක්කෙකු කිරීමට නොවෙහෙසි, යහපත් මිකිසකු කිරීමට උත්සාහ දැරිය යුතුය. හිස,හදවත සහ හස්තය ( #Head, #Hand & #Heart ) හෙවත් 3H සංකල්ප සමඟින් දරුවන්ගේ අධ්‍යාපනය සවිබල ගැන්විය යුතු කාලය එළඹ ඇත.

දරුවෙක් පාසලේ රැඳී සිටින්නේ පැය හයක කාල සිමාවක් පමණි. දවසේ වැඩි කාලයක් දරුවන් ගත කරනු විවිධ සමාජ මූලාශ්‍ර හා ගැටෙමිනි. එසේ නම් ඔබ අප සතුව ඇති සමාජ වගකීම වනුයේ දරුවාගේ ආකල්ප සංවර්ධනයට අවස්ථාවන් සකසා දීමයි.

ඒ සඳහා ගුරුවරුන් ලෙස අපත්, දෙමාපියන් ලෙස ඔබත් අත්වැල් බැඳ ගැනීම අත්‍යාවශ්‍යය. 

අශී පටබැදිගේ 
ශ්‍රී ලංකා විදුහල්පති සේවය

No comments:

Post a Comment